Pages

Friday 12 November 2021

අපේ ගෙවත්තට පැමිණෙන කුරුලු මිතුරෝ

1.පොල්කිච්චා/Oriental magpie - robin 

කළු සහ සුදු පැහැති පක්ෂියෙක් වන පොල්කිචා, ඉන්දියානු උප මහද්වීපයේ හා දකුණු ආසියාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි සිටී. ශ්‍රී ලංකාවේ ගෙවතු ආශ්‍රිතව බහුලව දැකිය හැකි මොවුන්, ප්‍රමාණයෙන් සෙ.මී. 19 ක් පමණ දිගය. බංග්ලාදේශයේ ජාතික පක්ෂියා වන්නේ ද පොල්කිච්චා ය. එළිපෙහෙළි කරන ලද විවෘත භූමි, වගා කරන ලද ප්‍රදේශ හා මනුෂ්‍ය වාසස්ථාන අසළ ගැවසීමට ප්‍රිය කරයි. කුඩා කෘමි සතුන් ආහාරයට ගනී. පොල්කිච්චන්ගේ අභිජනන සමය වන්නේ මාර්තු සිට ජූලි මාසය දක්වාය. වරකට බිත්තර 4 – 5 ක් පමණ දමයි.

2.පොළොස් කොට්ටෝරුවා/Brown - headed barbet 

ලොව පුරා නිවර්තන කලාපයන්හි වාසය කරන කොට්ටෝරුවන් අතරින් පොළොස් කොට්ටෝරුවා, ඉන්දියානු උප මහද්වීපයට ආවේණික කුරුල්ලෙකි. අපේ රටේ බහුලව දක්නට ලැබේ. දුඹුරු පැහැති කොට ගෙලක්, ප්‍රමාණයෙන් තරමක් විශාල හිසක් සහ දිගින් අඩු පෙඳයක් සහිතය. ශරීරය කොළ පැහැති ය. පලතුරු ආහාරයට ගනී. ශක්තිමත්, තියුණු හොටයක් ඇත. එමඟින් දිරාගිය ගසක් සිදුරු කර තනා ගන්නා බෙනයක ජීවත් වෙයි. මොවුන්ගේ ප්‍රජනන සමය පෙබරවාරි සිට ජූලි දක්වා ය.

3.රෑන ගිරවා/Rose-ringed Parakeet 

මාල හිරවා ලෙසින් ද හැඳින් වෙන, සමූහවාසීව ජීවත්වන පක්ෂි විශේෂයකි. කොළ පැහැති ය. ගෙලෙහි රතු- රෝස පැහැති ඉරක් වැනි මාලයක් දක්නට ලැබේ. එම නිසා මාල ගිරවා ලෙසින් ද හැඳින්වේ. නමුත් මේ මාලය දක්නට ලැබෙන්නේ පිරිමි සතුන්ගේ ය. හොට රතු පාටය. ශ්‍රී ලංකාව තුළ පුළුල් වශයෙන් පැතිරීමක් ඇති ගිරා විශේෂය මොවුන් ය. ධාන්‍ය වර්ග, පලතුරු, එළවළු, ඇට වර්ග ආහාරයට ගනී. මිනිස් කටහඬ අනුකරණයට ඉතා දක්ෂය. නිවෙස්වල සුරතලයටද ඇති කරයි.

4.මයිනා/Common myna 

කවුරුත් දන්නා හඳුනන කුරුල්ලකු වන මයිනා, ගෙවතු ආශ්‍රිතව නිතර දක්නට ලැබේ. ප්‍රමාණයෙන් සෙ.මී. 23 ක් පමණ දිග ය. තද කළුවන්, දුඹුරු පැහැයට හුරු පියාපත් සහ හොට, කකුල් සහ ඇස් වටා කහ පැහැති නිසා කැපී පෙනේ. යුවළක් ලෙස හෝ කුඩා කණ්ඩායමක් ලෙසින් අහර සොයා යයි. ඇතැම් නිවෙස්වල සුරතල් සතකු ලෙස ද ඇති කරයි. මිනිස් කටහඬ ද අනුකරණය කළ හැකි පක්ෂියෙකි. තරමක් සැර හඬින් ශබ්ද නගන මයිනා, කලබලකාරී ද වේ. වරකට නිල් පාට බිත්තර 3 - 4 ක් පමණ දමයි. කෘමීන් මෙන්ම පලතුරු ද ආහාරයට ගනී.

5.පිළිහුඩුවා/Kingfisher 

ඉතා අලංකාර මෙන්ම ආඩම්බර කුරුල්ලෙක් ලෙස පිළිහුඩුවා හැඳින්වේ. මොවුන් මාංශ භක්ෂකය. ශක්තිමත් පිහාටු මෙන්ම ශක්තිමත් හා විශාල හොටය නිසාත්, තියුණු ඇස් නිසාත් එකවර වේගයෙන් ජලය තුළට කිමිදී, තරමක් විශාල මසුන් වුවද ඩැහැ ගැනීමේ සහජ හැකියාවක් ඇත. හුදෙකලාව ජීවත් වීමට කැමැත්තක් දක්වන පිළිහුඩුවා, කුඩා කෘමීන් ද ආහාරයට ගනී. වර්ණවත් පිහාටු වලින් යුක්ත ය. වරකට බිත්තර 2 - 3 අතර දමයි. ජලජ පරිසර ආශ්‍රිතව නිරන්තරයෙන් ගැවසේ.

6.කොහා/Asian Koel 

කොහෝ ලෙසින් හඬ නඟන නිසා කොහා ලෙසින් හඳුන්වන අතර, කොවුලා, කෝකිලයා යන නම්වලින් ද මොවුන් හඳුන්වයි. හැඩයෙන් හා වර්ණයෙන් කපුටාට සමානය. අපේ රටට සිංහල අවුරුද්ද පැමිණෙන බව පළමුවෙන්ම දැනුම් දෙන්නේ කොහා ය. මේ නිසා සිංහල ජනයා අතර කොහා ඉතා ප්‍රසිද්ධය. පිරිමි කොවුලාගේ දෑස් දිදුලන, රතු පැහැයෙන් යුක්තය. ශරීරය නිල කළුවන් පැහැති ය. මිහිරි හඬින් නද දෙන කොහා ගේ තවත් විශේෂ ත්වයක් වන්නේ මොවුන් වනාන්තර වාසය අප්‍රිය කරන, මිනිස් වාසය ඇසුරේම ජීවත් වන්නට වැඩි කැමැත්තක් දක්වන පක්ෂියකු වීමයි. පලතුරු ආහාරයට ගනී.

7.කහ කුරුල්ලා/Black-hooded oriole 

සෙ.මී. 25 ක් පමණ දිග කහ කුරුල්ලා, කළු හා කහ පැහැයෙන් යුතු අලංකාර පක්ෂියෙකි. හොට රෝස පැහැති ය. මොවුන් වැඩි වහයෙන් සිටිනුයේ ගස් බෙන තුළය. ඝන කැලෑ ආශ්‍රිතව වාසය නොකරන අතර, කලබලකාරී පරිසරයන්හි මෙන්ම ගම්බද ප්‍රදේශවලද, මිනිස් වාසය සහිත ස්ථානවල ද වාසය කරයි. වැඩි වශයෙන් පලතුරු ආහාරයට ගන්නට ප්‍රිය කරන කහ කුරුල්ලන්, කෘමි සතුන්ද, බත් වැනි ආහාර ද ගනු දැකිය හැක. තියුණු නාදයකින් යුක්ත ය. මැයි සිට ඔක්තෝබර් දක්වා ප්‍රජනන සමය වේ. කිරිල්ලිය වරකට බිත්තර 2 ක් පමණ දමයි.


8.දෙමලිච්චා/Yellow-billed babbler 

දෙමලිච්චා අපේ රටේ ගෙවත්තකම පාහේ සුලබව දක්නට සෑම ලැබෙන, කවුරුත් හඳුනන කුරුල්ලෙකි. ඉතා කඩිසර ලෙස පැන පැන යමින්, කෑගසමින් අහර සොයා යාමට දක්ෂය. දෙමලිච්චා කහවන් අළු පිහාටුවලින් යුක්ත පක්ෂියෙකි. හිස් මුදුන, මුහුණ හා නළල ළා අළු වර්ණයෙන් යුක්තය. හොට ලා කහ පැහැති ය. සාමාන්‍යයෙන් සෙ.මීටර් 24 ක් පමණ දිග, ප්‍රමාණයෙන් තරමක් කුඩා පක්ෂියෙකි. ඝන වනාන්තර සහ ඉහළම කඳුකර ප්‍රදේශ වල හැර දිවයිනේ සියලු පෙදෙස් හි දෙමලිච්චන් දක්නට ලැබේ. හත් අට දෙනෙකුගෙන් සමන්විත රංචුවක් ලෙස මොවුන් නිතර සැරිසරයි. කෘමි සතුන්, කුඩා පණුවන් වැනි සතුන් ආහාරයට ගන්නා අතර, ගෙවතු ආශ්‍රිතව වෙනත් කුඩා ආහාර කැබලි ද අහුලාගෙන කති. මොවුන්ගේ ප්‍රධාන අභිජනන සමය මාර්තු - මැයි අතර කාලය වුවත්, අනෙකුත් කාලවලදී පැටවුන් බිහි කිරීම සිදු කරයි. කිරිල්ලිය වරකට බිත්තර 3 - 5 ත් අතර ප්‍රමාණයක් දමයි.

9.ඇටි කුකුළා/Greater Coucal 

වගාවට හානි කරන ගොළුබෙල්ලන් ආහාරයට ගන්නා නිසා මිනිසාට උදව් කරන කුරුල්ලෙක් ලෙස ඇටිකුකුළා සැලකිය හැකි ය. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්තව සිටී. ශරීර හැඩයෙන් කපුටකුට සමාන ය. කළු පැහැති ශර්රය හා දුඹුරු-රතු පැහැති පිහාටුවලින් සමන්විත අතර, ඇස් ද රතු පැහැතිය. සෙ.මී. 48 ක් පමණ දිගය. බු.... බු.... බු... ලෙසින් කෑගසයි. ඇටි කුකුල් විශේෂයක් වන බට ඇටි කුකුළා, ශ්‍රී ලංකාව ආවේණික පක්ෂියෙකි. මොවුන් ගෙවතු ආශ්‍රිතව විවෘත භූමිවල ගැවසීමට ඇලුම් නොකරන අතර පහතරට තෙත් කලාපයේ වෙසේ. මොවුන්ගේ හොටය කොළ පාට ය.

10.කවුඩා/White-bellied drongo 

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලද, වෙනත් රටවලද දැකිය හැකි කවුඩා, ප්‍රමාණයෙන් තරමක් කුඩා පක්ෂියෙකි. මොවුන් හඳුනා ගැනීමට පහසුම ලක්ෂණය වන්නේ වලිගය දෙකට බෙදී පැවතීමයි. කළු පැහැතිය. තනිව මෙම යුගල් වශයෙන් ද ගැවසේ. පොළොව ආසන්නයේ ගැවසෙමින් ගොදුරු සොයා යයි. වලිගය දිගු ය. කුඩා කෘමීන් ආහාරයට ගනී. දුරකථන, විදුලි රැහැන්, කම්බි වැටවල් ආශ්‍රිතව නිරන්තරයෙන් දක්නට ලැබේ.


11.කපුටා/Crow 

ගෙවතු ආශ්‍රිතව නිරන්තරයෙන් දක්නට ලැබෙන, කළු පැහැති කුරුල්ලෙකි. ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල මෙන්ම වෙනත් රටවල ද කපුටන් දැකිය හැක. කුඩා සතුන්, මළකුණු, බත්, පලතුරු වැනි ඕනෑම ආහාරයක් ගනු ලබයි. ‘කාක් ...... කාක් ලෙසින් නද දෙයි. ආහාරයක් ලැබුණු සැණින් කෑ ගසමින් අනෙකුත් සඟයන්ට ද කතා කරයි. රංචු වශයෙන් මෙන්ම තනිව හැසිරෙන කපුටන් ද දැකිය හැකි ය. කොහා බිත්තර දමන්නේ ද මේ කපුටන්ගේ කූඩු තුළ ය. මන්ද කොහා සහ කපුටා ප්‍රමාණයෙන් එක සමාන නිසාය.

12.කොණ්ඩ කුරුල්ලා/Red Vented bulbul 

නිතර දක්නට ලැබෙන කුරුල්ලකු වන කොණ්ඩ කුරුල්ලාගේ හිස මත කළු පැහැති කොණ්ඩයක් ඇත. පසුපස කොටස රතු පැහැතිය. මිනිස් ජීවිතය සමඟ ඉතා සමීප කුරුල්ලෙකි. කොණ්ඩ කුරුලු වර්ග 6 ක් දක්නට ලැබෙන අතර, ඒ අතරින් ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා ශ්‍රී ලංකාවට ආවේණික ය. කළු කොණ්ඩයා, බැම කොණ්ඩයා, කොණ්ඩයා, බැම සුදු කොණ්ඩයා, කළු හිසැති කොණ්ඩයා අනෙකුත් වර්ග වේ. මොවුන්ගේ නිබිම ඉන්දියානු උප මහද්වීපයට අයත් ශ්‍රී ලංකාව, ටිබෙටය, මියන්මාරය ආශ්‍රිතව වේ. කුඩා රංචු වශයෙන් ද, යුගල වශයෙන්ද දක්නට ලැබේ. පලතුරු ආහාරයට ගනී. කුඩා කෘමි සතුන් ද ආහාරයට ගනු දැකිය හැක.

13.ගේ කුරුල්ලා/House Sparrow 

ප්‍රමාණයෙන් කුඩා පක්ෂියෙක් වන ගේ කුරුල්ලා, මනුෂ්‍ය වාසස්ථාන ආශ්‍රිතව නිරන්තරයෙන් ගැවසේ. යුරෝපයට ආවේණික කුරුල්ලකු ලෙස හැඳින්වුවද, ආසියානු හා මධ්‍යධරණී කලාපයේ ද බහුලව දැකිය හැකි ය. ධාන්‍ය වර්ග හා වල් පැළෑටිවල බීජ ආහාරයට ගනී. එසේම කෘමීන් වැනි වෙනත් දෑ ද අවස්ථානුකූලව ආහාරයට ගනී. සෙ.මී. 16 ක් පමණ දිග, කුඩා පක්ෂියෙකි. දුඹුරු, අළු පැහැයක් ගන්නා අතර, සුදු හා කළු පැහැයද අතරින් පතර දක්න ලැබේ. ගේ කුරුලු ගහනය ක්‍රමයෙන් පහළ වැටෙමින් පවතින නිසා, රතු දත්ත පොතට ද ඇතුළත් කර ඇත. ගේ කුරුල්ලෝ නිවසට වාසනාව කැන්දන බව පුරාණ ගැමි මතයකි.

14.පැණි කුරුල්ලා/Sunbird 

අපේ ගෙවත්තේ දක්නට ලැබෙන අලංකාර කුරුලු යාළුවෙක් ලෙස පැණි කුරුල්ලා හඳුන්වන්න පුළුවන්. මොවුන් ලෝකය පුරාම දක්නට ලැබේ. ඉතාම සමාජශීලී හා කඩිසර කුරුල්ලකු වන පැණි කුරුල්ලා, අවුරුදු 05 ක් පමණ ආයු දරයි. දිලිසෙන විවිධ වර්ණ නිසා පැණි කුරුල්ලාගේ අලංකාරත්වය තවත් වැඩි වේ. ඉතා සියුම් ශබ්දයක් නිකුත් කරන මොවුන් සාමාන්‍යයෙන් සෙ.මී. 3.5 ක් තරම් ප්‍රමාණයෙන් යුතු කුඩා පක්ෂියෙකි. ඉතා සිහින්, දිගු හොටය නිසා මල්වල පැණි උරා බීමට මෙන්ම කුඩා කෘමි සතුන් අල්ලා ගැනීමටත් මොවුන්ට හැකි ය. මොවුන් බොහෝ විට යුගලක් ලෙස ජීවත් වේ.














No comments:

Post a Comment