Pages

Saturday 9 October 2021

විදේශීය රටවලින් අපනයනය කර වගා කරන මත්ස්‍ය විශේෂ

 

උදාහරන:ගුරාමි,බාබ්,ඔස්කා,මෝලි,ගප්පි විශේෂ,කාප් විශේෂ,ගෝල්ඩ් ෆිෂ් විශේෂ,ඒන්ජල්,ස්වෝර්ඩ්ටේල්,ෆයිටර් විශේෂ,ඩිස්කස්,පැරඩයිස්,අවුරාටස්,සීබ්‍රා ඩැනියෝ,රෙඩ් රාස්බොාරා,නියෝන් ටෙට්රා.

1.ගුරාමි(Gourami)

විද්‍යාත්මක නාමය:Trichogaster spp

හැදින්වීම:මෙම මත්ස්‍යයාගේ නිජබිම ලෙස සැලකෙන්නේ තායිලන්තය හා මැලේසියාවයි.ගුරාමි වර්ග අතරින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ මුතු ගුරාමියා වර්ගය වේ.මෙයට අමතරව ගුරාමි වර්ග කිහිපයක් ඇත.එනම්,

1.ගෝල්ඩන් ගුරාමියා  2.කිසිං ගුරාමියා  3.බ්ලු ඩ්වෝර්ෆ් ගුරාමියා

 මුතු ගුරාමි වර්ගයේ මසුන්ගේ හොම්බේ සිට පෞච්ඡ වරල දක්වා දේහයේ මධ්‍ය පාර්ශවික දාරය දිගේ් කළු පැහැති රේඛාවක්ද ඇත.

 


පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි ගුරාමි මත්ස්‍යයා වර්ණවත් මෙන්ම ශරීරයේ වයිරම්ද වැඩිය.එමෙන්ම පිරිමි මත්ස්‍යයාගේ උඩ වරල උල් හැඩයක් ගනී.ගැහැණු මත්ස්‍යයාට වඩා මදක් විශාලය.දිගින් 10-12cm දක්වා වේ.දිගටි පෘෂ්ඨීය වරලක් ඇත.මෙම පෘෂ්ඨීය වරල පෞච්ඡ වරල තෙක් ම වර්ධනය වී ඇත.

ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:සාමාන්‍යයෙන් පිරිමි මත්ස්‍යයාට වඩා කුඩාය.වර්ණයෙන්ද සාපේක්ෂව අඩුය.දේහය බොහෝවිට කොළ පැහැයක් ගනී.උදර ප්‍රදේශය පිරිමි ගුරාමියාට වඩා තරමක් විශාලය.
 
2.බාබ්(Barb) 
 
විද්‍යාත්මක නාමය:Barbus spp

හැදින්වීම:මෙම මත්ස්‍යයාගේ නිජබිම ලෙස සැලකෙන්නේ සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත්ය.නිවාසවල මත්ස්‍යය ටැංකි අලංකරනය සදහා යොදාගන්නා ජනප්‍රිය මත්ස්‍ය වර්ගයකි.වැඩුනු බාබ් මත්ස්‍යයකුගේ දිග 6-7cmක් පමණ වේ.මෙම මත්ස්‍යයාගේ ශරීරය ඉහළ සිට පහළ කරා විහිදෙන කළු පැහැති පළල් ඉරි හතරක් ඇත.කොළ/ඇල්බිනෝ සහ රිදී දේහ වර්ණ ඇත.පෘෂ්ඨීය වරලෙහි ආරම්භයක කොටසත් ගුද වරලත් කළු පැහැතිය.ළය ශ්‍ර‌ෝණි සහ පෞච්ඡ වරල කළු පැහැතිය.
3.ගෝල්ඩ් ෆිෂ්(Goldfish) 
 
විද්‍යාත්මක නාමය:Carassius auratus

හැදින්වීම:මෙම මත්ස්‍යයා ඇති කිරීමේ ඉතිහාසය ඉතා දීර්ඝය.ක්‍රි.පූ. 970 තරම් දිගු අතීතයක සිට මෙම මත්ස්‍ය වගාව සිදු කළ බවට සාක්ෂ්‍ය ඇත.දුටුගැමුණු රජතුමාගේ උයනෙහි රන් මත්ස්‍ය පොකුණක්ද තිබූ බව අතීත කථාවල සදහන් වේ.සෙමින් පිහිනන දිගැටි වරල් සහිත පෘෂ්ඨිමත් ශරීරවලින් හෙබි මත්ස්‍ය වර්ගයකි.සුරතල් මසුන් වගාකරන බොහෝ දෙනෙකු මෙම මසුන් වගා කිරීමට විශේෂ ලැදියාවක් දක්වනු ලැබේ.
 
පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:උදරය ගැහැණු මත්ස්‍යාට වඩා කුඩා ය.උදරය ස්පර්ශ කළ විට රළු ගතියක් දැනේ.කරමල් දෙපස හා ඒ හා සම්බන්ධ දෙපස වරල්වල සුදු තිත් දක්නට ලැබේ.ශරීරයෙහි වර්ණය තද පාට වැඩිය.ගැහැණු සතාට සාපේක්ෂව ශරීරය දීප්තිමත් ස්වභාවයක් පෙන්වයි.
 
 ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:බිත්තරවලින් උදරය පිරී පවතින හෙයින් පහසුවෙන් හදුනා ගත හැකිය.උදරය තුළ බිත්තර පිරී තිබීම හේතුවෙන් එහි ඇති පටක ඇදී යන බැවින්  අතින් ඉතා පරිස්සමෙන් ඇල්ලූවිට මෘදු සුසිනිදු ස්වභාවයක් දැනේ.උදරය එබෙන සුළු ස්වභාවයක් ගනී.
 
 4.ඔස්කා(Oscar) 
 
විද්‍යාත්මක නාමය:Astronotus ocellatus

හැදින්වීම: දකුණු ඇමෙරිකාවේ උතුරු දිග ප්‍රදේශය මෙම මත්ස්‍යයාගේ නිජබිම ලෙස හැදින්වේ.සික්ලිඩේ කුලයට අයත් වේ.මාංස භක්ෂක භෝජන විලාසයක් දක්වයි.
 පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි හා ගැහැනු ලෙස වෙන් කර හදුනාගත හැක්කේ මසුන් තරමක් වැඩුණු පසුවය.පිරිමි මත්ස්‍යයාගේ හිස මත කුඩා ගැටිත්තක් වැනි නෙරීමක් දක්නට ලැබේ.වර්ණය හා දීප්තිය ගැහැණු මත්ස්‍යයාට වඩා වැඩිය.ලය වරල උල් ස්වභාවයක් ගනී.
 
 ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:වර්ණය හා දීප්තිය පිරිමි මත්ස්‍යයාට වඩා තරමක් අඩුය.ලය වරලෙහි දිග සාපේක්ෂව අඩු අතර එය රවුම්  ස්වභාවයක් ගනී.උදරය විශාලය. 
 
5.ඒන්ජල්(Angel) 
 
විද්‍යාත්මක නාමය:Pterophyllum scalare
 
හැදින්වීම:මෙම මත්ස්‍යයාගේ නිජබිම දකුණු ඇමරිකාව ලෙස හදුනාගෙන ඇත.වැඩුනු ඒන්ජල් මත්ස්‍යයකු දිගින් 10cm කට වඩා වැඩිය.මොවුන්ගේ දේහයේ දික් අතට වැටුණු රේඛා පවතින අතර ඒවා බොහෝ විට කළු පැහැතිය.එමෙන්ම දේහය මත රිදී පාට සලකුණු ද දක්නට ලැබේ.බිත්තරවලින් තම වර්ගයා බෝකරන මත්ස්‍ය වර්ගයකි.

 පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:වැඩුනු පිරිමි මත්ස්‍යයාගේ ශරීරය සමමිතික බවක් දක්වයි.ගැහැණු මත්ස්‍යයාට වඩා පළලින් අඩුය.හොදින් වැඩුනු පිරිමි මත්ස්‍යයාගේ හිස මත කුඩා ගැටිත්තක් දැකිය හැකිය.ශරීරය ගැහැණු මත්ස්‍යයාට වඩා විශාලය. 
 
 ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:ගැහැණු මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයාට වඩා පළලින් වැඩිය.දේහයේ දාර මොට ස්වභාවයක් ගනියි.ලය වරල් ආරම්භ වන කොටසේ දිට හිස දෙසින් බැලූවිට දේහයෙහි ඝනකම ක්‍රමයෙන් වැඩිවන බවක් පෙනේ.උදරය සාපේක්ෂව විශාලය.පිරිමි මත්ස්‍යයාගේ ශරීරයට වඩා ප්‍රමාණයෙන් කුඩාය.
 
 6.මෝලි(Molly) 
 
විද්‍යාත්මක නාමය:Poecilla latipinna

හැදින්වීම:මෙම මත්ස්‍යයාගේ නිජබිම මෙක්සිකෝව ලෙස සැලකේ.පැටවුන් බිහිකරන මත්ස්‍යය වර්ගයකි.පැටවුන් කුඩා කාලයේදී මව් මසුන් විසින් ආරක්ෂා කර ගැනීම සිදුවේ.මෝලි මත්ස්‍යයා දළ වශයෙන් 10cm දක්වා ප්‍රමාණයකට වර්ධනය වේ.

 පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:පෘෂ්ඨීය වරල සාපේක්ෂව විශාලය,රුවලක් වැනි ව්‍යුහයක් වන මෙම වරල නිසා මොවුන් රුවල් වරල් මෝලියා ලෙස හැදින්වේ.පිරිමි සතුන් තේරීමේදී වර්ණය,ශරීරයේ විශාලත්වය,වරලේ ස්වභාවය හා මත්ස්‍යයාගේ ප්‍රමාණය පිළිබද සැලකිලිමත් විය යුතුය.
 
 ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි මත්ස්‍යයාට වඩා ප්‍රමාණයෙන් විශාලය.පෘෂ්ඨීය වරල සාපේක්ෂව කුඩාය.
 
 7.ස්වේඩ් ටේල්(Swordtail) 
 
විද්‍යාත්මක නාමය:Xiphophorus helleri

හැදින්වීම:මෙම මත්ස්‍යයාගේ නිජබිම මෙක්සිකෝව ලෙස හැදින්වේ.ස්වෝඩ් ටේල් මසුන් සදහා දේශීය වෙළදපොළේ මෙන්ම විදේශීය වෙළදපොළ තුළද හොද ඉල්ලුමක් පවතී.ඉතාමත් අලංකාර,වර්ණවත්,ක්‍රියාශීලි මත්ස්‍යයෙකි.දේහයේ වර්ණ අතර රතු,තැඹිලි,කහ,රිදී,කොළ ප්‍රධාන තැනක් ගනී.පැටව් බිහිකරන මත්ස්‍ය විශේෂයකි.
පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි මත්ස්‍යයාගේ පෞච්ඡ වරල කඩුවක් මෙන් දිගට වැඩී ඇත.එය පිරිමි මසුන් හදුනා ගැනීමේ ප්‍රමඛ ලක්ෂණයකි.පිරිමි මත්ස්‍යයාගේ උදරය සාපේක්ෂව කුඩාය.ශරීර ප්‍රමාණය ගැහැණු මත්ස්‍යයාට වඩා කුඩාය.තරමක කලබලකාරී ස්වභාවයක් දක්වයි.ටැංකිය තුළ ජලය අඩුවන විට ඉන් ඉවතට පැනීමට උත්සාහ දරයි. 
 
ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:ගැහැනු මත්ස්‍යයාගේ පෞච්ඡ වරල කඩුවක් මෙන් දිගට නොවැඩේ.උදරය ප්‍රදේශය තරමක් මහතය.පිරිමි මත්ස්‍යයාට වඩා ප්‍රමාණයෙන් විශාලය.
 
 8.ගප්පි(Guppy) 
 
විද්‍යාත්මක නාමය:Poecilia reticulata

හැදින්වීම:ගප්පි මසුන්ගේ නිජබිම ලෙස සැළකෙන්නේ ට්‍රින්ඩ්‍රැඩ් රටය.නමුත් දැනට මෙම මසුන් ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්තව පවතී.ගප්පි යනු පැටවුන් බිහිකරන මත්ස්‍ය වර්ගයකි.ගප්පි මසුන්,මදුරු කීටයන් පාලනය කිරීමට ජෛව විද්‍යාත්මක ක්‍රමයක් ලෙස ද යොදා ගනී.කෘත්‍රිම තත්ත්ව යටතේ පහසුවෙන් අභිජනනය කළ හැකිය.සර්ව භක්ෂක භෝජන විලාසයක් දක්වයි.ශ්‍රී ලකොවේ ඇළ මාර්ගවල හා ජලාශවල ද දක්නට ලැබේ.ජලයේ විවිධ තත්වයන්ට ඔරොත්තු දෙන මත්ස්‍ය වර්ගයකි.පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:වැඩුනු පිරිමි මත්ස්‍යයා සාමාන්‍යයෙන් 3cm හෝ ඊට වඩා දිගකින් යුක්තය.පිරිමි මත්ස්‍යයා වඩා අලංකාර බැවින් වෙළදපොළෙහි වැඩි ඉල්ලුමක් පවතින්නේද පිරිමි මසුන් සදහාය.පිරිමි මසුන් නිල්,තැඹිලි,රතු,කොළ,කහ හා සුදු ආදී විවිධ වර්ණවලින් යුක්තය.ගැහැනු මසුන්ට වඩා පිරිමි මත්ස්‍යයාගේ ශරීර ප්‍රමාණය කුඩාය. 
 
ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි මසුන්ට වඩා විශාලත්වයෙන් වැඩිය.කහ,සුදු,රතු ආදී වර්ණවලින් යුක්තය.උදරය විශාලත්වයෙන් වැඩිය.

9.ෆයිටර්(Fighter) 
 
විද්‍යාත්මක නාමය:Betta splendens

හැදින්වීම:මෙම මත්ස්‍යයාගේ නිජබිම තායිලන්තය ලෙස සැලකේ.විසිතුරු මසුන් ඇති කරන්නන් අතර ජනප්‍රිය මත්ස්‍ය වර්ගයකි.රතු,නිල්,දම්,කොළ,සුදු ආදී වර්ණවලින් යුක්ත අලංකාර මත්ස්‍යය වර්ගයකි.තම වර්ගයේ ම මසුන් සමග සටන් කිරීම සිදු කරයි.බොහෝ විට පිරිමි මසුන් දෙදෙනෙකු මුණ ගැසීමෙන් ඇතිවන සටන් අවසන් වන්නේ දෙදෙනාගෙන් එක් මත්ස්‍යයකු මාරන්තික තුවාල ලැබුවායින් පසුවය.එම නිසා ෆයිටර් පිරිමි මසුන් දෙදෙනෙකු එකම ටැංකියක දැමීම කිසිසේත් සිදු නොකළ යුතුය.මොවුන් සටන් කරන්නේ තම වර්ගයේම පිරිමි මත්ස්‍යයකු සමග පමණි.
 පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:දිගින් 5-9cm ක් දක්වා වර්ධනය වේ.පිරිමි මත්ස්‍යයාගේ වරල් දිගුය.පිරිමි මත්ස්‍යයා ගැහැනු මත්ස්‍යයාට වඩා බොහෝ අලංකාරය.විශේෂයෙන් පිරිමි මත්ස්‍යයාගේ පෘෂ්ඨීය වරල,පෞච්ඡ වරල හා ගුද වරල් දිගට වැඩී ඇත.රතු,නිල්,දම් සහ කොළ ආදී තද වර්ණවලින් යුක්තය. 
 
ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:පෘෂ්ඨීය වරල් ,පෞච්ඡ වරල්,ගුද වරල් පිරිමි මත්ස්‍යයාගේ තරම් දිගුවට නොපවතියි.පිරිමි මත්ස්‍යයාට වඩා ප්‍රමාණයෙන් කුඩාය.සාපේක්ෂව වර්ණයෙන් අඩුය.ශරීරය වටකුරු ස්වභාවයක් ගනී. 
 
10.කාපයා(Carp) 
 
විද්‍යාත්මක නාමය:Cyprinus carpio

හැදින්වීම:චීනයේ සම්බවය වූ බව සැලකේ.වගා කිරීම සදහා කාප් වර්ග කිහිපයක් භාවිත වේ.නිදසුන්:-සාමාන්‍ය කාපයා,රතු කාපයා,කොයි කාපයාකාප් මසුන් පහසුවෙන් පොකුණුවල වගා කළ හැකිය.
 පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි  මත්ස්‍යයා දිගටි ස්වභාවයක් ගනියි.ශරීරයෙහි වර්ණවත්භාවය ගැහැනු මත්ස්‍යයාට වඩා වැඩිය.ලය වරල රළු ස්වභාවයක් ගනී.
 
ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:උදරය ප්‍රදේශය වටකුරු මහත ස්වභාවයක් දක්වයි.ලය වරල මෘදු ස්වභාවයක් ගනී. 
 
11.ඩිස්කස්(Discus)
 
විද්‍යාත්මක නාමය:Symphysodon aequifasciatus 
 
හැදින්වීම:ඇමේසන් ගංගාව තුළ මුල් වරට සොයා ගත් බව සැලකේ.මෙම මසුන්ට ජීවත් වීම සදහා මෘදු තද භාවයකින්  යුතු ජලය සුදුසුය.උඩු වරල හා යටි වරල විශාලව පිහිටා ඇත.ඩිස්කස් වර්ග කිහිපයක් ඇත. 
 
1.බ්‍රවුන් ඩිස්කස් 2.රෙඩ් අයි ඩිස්කස් 3.කැලිකො ඩිස්කස් 4.වයිට් ඩිස්කස්

 පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි මත්ස්‍යයාගේ ශරීරයේ මැද කොටසේ තද නිල් පැහැ රැලි වැනි ඉරි වැටී ඇත.ශරීරය සිහින් ස්වභාවයක් ගනී.වරල් ගැහැණු මත්ස්‍යයාට සාපේක්ෂව විශාලය.වර්ණවත්භාවය හා අලංකාරය ගැහැණු මත්ස්‍යයාට වඩා වැඩිය.
 
 ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:දින 12කින් පසු මත්ස්‍යයා පැටවුන්ගේ උදරය යට පරික්ෂා කළ විට කළු ලපයක් පවතී නම් ගැහැණු මත්ස්‍යයකු ලෙස වෙන්කර හදුනා ගැනීමේ ප්‍රමුඛ සාධකයකි.උදරය සාපේක්ෂව විශාලය.වර්ණවත්භාවය අඩුය.
 
12.පැරඩයිස්(Paradise) 
 
විද්‍යාත්මක නාමය:Macropadus opercularis

හැදින්වීම:චීනය,කොරියාව හා දකුණු වියට්නාම කලාපයේ සම්භවය වූ බව සැලකේ.මෙම මත්ස්‍යයාගේ ස්වරූපය ෆයිටර් මත්ස්‍යයා හා සමාන බවක් දක්වයි.විවිධ වර්ණවලින් යුක්ත අලංකාර මත්ස්‍යය විශේෂයකි.නිල්,රතු පැහැ මිශ්‍ර වර්ණවලින් යුක්තය.9cm දක්වා වර්ධනය වේ.මත්ස්‍යයන් ඇති කරන්නන් අතර ජනප්‍රිය වූ   මත්ස්‍යය විශේෂයකි.
 පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි මත්ස්‍යයාගේ පෘෂ්ඨීය වරල,ශ්‍රෝණි වරල හා පෞච්ඡ වරල ගැහැණු මත්ස්‍යයින්ට නඩා දිගය.පරිණතවූ පිරිමි මත්ස්‍යයින්ගේ පෘෂ්ඨීය වරල හා ශ්‍රෝණි වරල ළා නිල් පැහැයෙන් දිලිසීමට පටන් ගනියි.පිරිමි මත්ස්‍යයන්ගේ ශරීරය මත පිහිටා ඇති වයිරම් තද නිල් පැහැයක් ගනියි.  
 
ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:උදරය විශාල හා වටකුරු ස්වභාවයක් ගනී.පෘෂ්ඨීය වරල,ශ්‍රෝණි වරල හා පෞච්ඡ වරල කෙටිය.වර්ණයෙහි තදභාවය සාපේක්ෂව අඩුය.
 
13.අවුරාටස්(Auratus) 
 
විද්‍යාත්මක නාමය:Melanochromis auratus
 
හැදින්වීම:සුරතල් මසුන් වගා කරන්නන් අතර ඉතාම ජනප්‍රිය මත්ස්‍ය වර්ගයකි.කලබලකාරී මත්ස්‍යය වර්ගයක් ලෙස සැලකේ.වැඩුණු මත්ස්‍යයා 8-10cm පමණ වේ.දිගැටි ස්වභාවයක් ගන්නා මත්ස්‍යයෙකි.මත්ස්‍යයාගේ පිට ප්‍රදේශය බඩ ප්‍රදේශයට වඩා වක්‍රාකාරය.යටි වරල හා උඩු වරල අවසන් වන්නේ වක්‍රාකාර ලෙසය.
  පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි මත්ස්‍යයාගේ සිරුර කළු සහ දුඹුරු පැහැයෙන් යුක්තය.වරල තද දුඹුරු පැහැයකින් යුක්තය.යටි වරල් කහ පැහැති ලප කිහිපයක් පිහිටා ඇත.
 
ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි මත්ස්‍යයාට වඩා ප්‍රමාණයෙන් කුඩාය.ගැහැණු මත්ස්‍යයාගේ සිරුර රන්මය කහ පැහැයක් ගනී.කළු දුඹුරු පැහැති ඉරි තුනක් සිරුරේ දිග අතට පිහිටා ඇත.වරල කහ පැහැයෙන් යුක්තය. 
 
14.සීබ්‍රා ඩැනියෝ(Zebra Danio)
 
 විද්‍යාත්මක නාමය:Danio rerio

හැදින්වීම:ඉන්දියාව නිජබිම කරගත් මත්ස්‍ය විශේෂයකි.ශරීරයෙහි දෙපස නිල් පැහැති දිග අතට විහිදුණු ඉරි පේළියක් දක්නට ලැබීම විශේෂත්වයකි.වේගයෙන් රංචු ලෙස පිහිනා යන මත්ස්‍ය විශේෂයකි.

  පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි මත්ස්‍යයා සිහින් දිගටි හැඩයක් ගනියි.උදරය ප්‍රදේශය තරමක් කුඩාය.ගැහැණු මත්ස්‍යයාට වඩා ශරීර වර්ණය තද භාවයකින් යුක්තය. 
 
ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි මත්ස්‍යයාට වඩා ප්‍රමාණයෙන් විශාලය.උදරය ප්‍රදේශය මහත් වූ රවුම් ආකාරයක් පෙන්වයි. 
 
15.රෙඩ් රාස්බොරො/හාල්ක්වින්(Red rasbora/Harlequin rasbora) 
 
විද්‍යාත්මක නාමය:Trigonostigma heteromorpha

හැදින්වීම:විසිතුරු මසුන් වගා කරන අය  අතර ඉතාම ජනප්‍රිය මත්ස්‍ය වර්ගයකි.සුමාත්‍රාව හා තායිලන්තය යන රටවලදී මුලින්ම හදුනාගන්නා ලද බව සැලකේ.මෘදු තදභාවයක් සහිත මද වශයෙන් ආම්ලික ජලය තුළ වගා කළ හැකිය.ජලය මතුපිට ජීවත් වන කුඩා කෘමීන්,ජීවීන් වර්ග ආහාර ලෙස ගැනීමට ප්‍රියතාවක් දක්වයි.විශේෂයෙන් මදුරු කීටයන් ආහාර ලෙස ගැනීම සිදු කරයි.රතු,රිදී පැහැති ශරීරයේ කළුන,නිල් පැහැයෙන් යුතු ත්‍රිකෝණාකාර සලකුණක් උදරයෙහි මැද සිට වලිගය තෙක් පැතිරී ඇත.
පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:උදරය සාපේක්ෂව කුඩාය. 
 
ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:බිත්තර දැමීමට ආසන්න වූ ගැහැණු සතාගේ උදරය ගෝලාකාර හැඩයක් ගනියි. 
 
16.නියොන් ටෙට්රා(Neon Tetra) 
 
විද්‍යාත්මක නාමය:Paracheirodon innesi

හැදින්වීම:උතුරු ඇමෙරිකාව නිජබිම කරගත් ඉතා අලංකාර මත්ස්‍යය විශේෂයකි.4cm වඩා වර්ධනය වේ.නියෝන් ටෙට්රා,ටැංකිවල සෑදීම පහසුවෙන් කළ හැකිය.සිහින් දිගටි ශරීරයකින් යුක්ත මත්ස්‍යය විශේෂයකි.ඉතා ක්‍රියාශීලි මත්ස්‍ය විශේෂයක් ලෙස සැලකේ.අදුරු පරිසරවල ජීවත්වීමට ප්‍රියතාවක් දක්වයි.මද වශයෙන් ආම්ලික ජලය තුළ ජීවත්වීමටද හැකියාව ඇත.
පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ:පිරිමි මත්ස්‍යයාගේ ශරීරය දිගටි හැඩයක් ගනී.දිගින් 4cm-6cm දක්වා වර්ධනය වේ.ශරීරයෙහි විශාලත්වය ගැහැණු මත්ස්‍යයාට වඩා වැඩිය.
 
  ගැහැනු මත්ස්‍යයාගේ ලක්ෂණ:ගැහැණු මත්ස්‍යයාගේ උදරය ප්‍රදේශය තරමක් විශාලය.පිරිමි මත්ස්‍යයාට වඩා පළලින් තරමක් වැඩිය.පිරිමි මත්ස්‍යයාට වඩා ශරීරය පෘෂ්ටිමත් ස්වභාවයක් ගනියි.

No comments:

Post a Comment