Pages

Saturday 23 October 2021

අලංකාර මල් සහිත ඖෂධ ගුණැති ශාක

 1.මලිත(Red Bell Bush Tree)

විද්‍යාත්ම නාමය-Woodforida Fruticosa

මෙයද ඉන්දියාවට ආවේණික ශාකයකි. මීටර් 1-3 ක් අතර උසට වැඩෙන මෙහි අතු විහිදී තිබෙනු දක්නට හැකිය. ශාක පත්‍ර දිගැටි ස්වභාවයක් ගන්නා අතර රතු පැහැති මල් හට ගනී. මල් හා කොළ ඖෂධීය ගුණැතිය. ශරීරයේ අභ්‍යන්තර ලේ ගැලීම් සඳහා පිළියමක් ලෙස භාවිත කරන මලිත උණ රෝගයට ද ඖෂධයකි. කැඩුම් බිඳුම් සඳහා ගුණදායක මලිත ලේ අර්ශස් වලට මෙන්ම අතීසාරයට හා දැවිල්ල සඳහා ඔසුවක් සේ භාවිත කරන බව පැවසේ.

2.රත්නිටුල්(Scarlet leadwort)  

විද්‍යාත්ම නාමය-Plumbago indica

ඉන්දියාවට ආවේණික ශාකයකි. අඩි 3,4 ක් පමණ උසට වැඩෙන පඳුරුමය ශාකයක් වන රත්නිටුල් උපනිවර්තන හෝ උණුසුම් දේශගුණික තත්ත්වයන් සහිත ප්‍රදේශවල දක්නට ලැබේ. ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ හරිතාගාර වලය. රතු හෝ ළා රෝස පැහැති මල් හට ගනී. අජීර්ණයට, බඩේ වේදනාවට, කැස්සට, ඖෂධයකි. හිසරුදාවට හා කැස්සට ඔසුවක් වන රත්හිටුල් ශාක පත්‍රවල යුෂ සමේ රෝගවලට ගුණදායක බව පැවසේ.

3.අක්මැල්ල(Toothache plant)

විද්‍යාත්ම නාමය- Acmella oleracea

පැළෑවීමය ශාකයක් වන මෙය දත් කැක්කුමි ශාකය ලෙසද හඳුන්වයි. බ්‍රසීලයට ආවේණික ශාකයක් ලෙස හඳුන්වන අතර කෙළින් වැඩෙන පැළෑටියකි. මල් කුඩා සූර්යකාන්ත මිලකට සමානය. මෙම ශාකයේ දළු පිළිස්සුම් තුවාල වලට ඔසුවකි. මල් හා ශාක පත්‍ර තම්බාගත් කසාය හෝ වතුර උගුරේ ආබාධවලට ,ආමාශ රෝග වලට, දත් කැක්කුමට මෙන්ම ගොතයට ඔසුවක් බව සඳහන් වේ. 

4.රුක්අත්තන(Blackboard tree) 

විද්‍යාත්ම නාමය-Alstonia Scholaris

මෙම ශාකයද අග්නිදිග ආසියාවට ආවේණික නිවර්තන ශාකයක් ලෙස සැලකේ. මීටර් 40 පමණ උසට වැඩෙන මෙම ශාකයෙහි පොත්ත අළු පැහැයක් ගනී. ශාක පත්‍රයේ උඩ පැත්ත ඔපවත් බවක් දිස්වේ. යටි පෙදෙස අළු ස්වභාවයක් ගනී. ශාකයෙහි පොත්ත කසාය අතීසාරයට හා මැලේරියාවට කදිමය. තුවාල සුව කිරීමට මෙන්ම උදරාබාධ සඳහා ඖෂධයක් වන රුක්අත්තන සර්ප විෂ නැසීමටද සුදුසු බව පැවසේ.

5.නිල් අවරිය(True indigo)

විද්‍යාත්ම නාමය-Indigofera tinctoria

මීටර් 02 ක් පමණ උසට වැඩෙන මෙහි මල් ළා රෝස හෝ දම් පැහැයක් ගනී. නටු දෙපැත්තේ ඇති ශාක පත්‍ර කොළ පැහැතිය. මෙම ශාකයේ ශාක පත්‍ර, මුල්, මල්, පොතු මෙන්ම ගෙඩි ද ඖෂධීය ගුණයෙන් යුතුය. සෙම් හා වාත රෝගවලට මෙන්ම සමේ රෝගවලට පිළියමක් ලෙස යොදා ගනී. ලේ පිරිසිදු කර ඉදිමුම නැසීමට යෝග්‍ය බව සඳහන් වේ. 

6.යක්වනස්ස(Indian catmint) 

විද්‍යාත්ම නාමය-Anisomeles indica

මෙම ශාකය මීටර් 1.5 හෝ 2,00 ක් පමණ උසට වැඩේ. පඳුරුමය ශාකයක් වන යක්වනස්ස කඳෙහි රෝම ඇත. මෙහිද ඉතා අලංකාර මල් දැක ගැනීමට ලැබෙන අතර ඒවා දම් හෝ සුදු පැහැතිය. කරල් වැනි ඵල ඇත. මෙය පලිබෝධනාශකයක් ලෙසද යොදා ගනී. අජීර්ණය සඳහා ඖෂධයක් වන යවනස්ස උණ රෝගයට පිළියමක් ලෙසද භාවිත කෙරේ.

7.හීං අරත්ත(Heen Aratta)

විද්‍යාත්ම නාමය-Alpinia calcarata

මීටර් 01 ක් පමණ උසට වැඩෙන කඳක් සහිත නැමෙන සුළු ශාකයකි. ඉතා අලංකාර මල් සහිතය. මල් සුදු පැහැවන අතර ශාක පත්‍ර සිනිඳු ස්වභාවයක් ගනී. ඝණ්ඨාවක හැඩයෙන් දිස්වන මලෙහි ඵලය ගෝලාකාරය. එය තැඹිලි රතු පාටය. මෙහි අල හා බීජ ඖෂධ ගුණැතිය. වාත රෝග සඳහා අල කසායක් සේ සාදා ප්‍රයෝජනයට ගනී. විෂ නැසීම සඳහා අල යුෂද, පීනස සඳහා අල තම්බාගත් වතුරද ගුණදායක බව සඳහන් වේ. 

8.අස්වැන්න(Alyce clover)

විද්‍යාත්ම නාමය-Alysicarpus vaginalis

මෙයද පැළෑටිමය ශාකයකි. අතු සිහින් කම්බි මෙන් බෙදී ඇත. ශාක පත්‍ර ඒකාන්තර ආකාරයට පිහිටා තිබේ. මල් රතු පැහැයට හුරු දම් පාටය. ශාක පත්‍ර, මුල් පමණක් නොව පැළෑටියද ඖෂධීය ගුණැතිය. අස්ථි බිඳුම් වලට මෙන්ම පිළිකා මර්දනය සඳහා ඔසුවකි. මුල් තම්බාගත් කසාය කැස්සට ගුණදායක බව පැවසේ. 

9.අරලිය(Temple Tree)

විද්‍යාත්ම නාමය-plumeria rubra

අරලිය ශාකය අඩි 15 ක් පමණ උසට වැඩේ. අතු විහිදී ඇති අතර කිරි සහිතය. ශාක පත්‍රවල උඩුපැත්තේ ඉටි වැනි ස්ථරයක් ඇති හෙයින් ශාක පත්‍රයට වැටෙන ආලෝකය පරාවර්තනය වේ. ශාක පත්‍ර අඟල් 18 ක් පමණ දිගය. මල් සුවඳවත්ය. පොතු හා මල් මතා රෝග හා වාත රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිත කෙරේ. සමේ රෝගවලට ගුණදායක අරලිය පොත්ත උෂ්ණ ගුණයෙන් යුතුය.

10.දොඹ(Ball Nut Tree)

විද්‍යාත්ම නාමය- Calophyllum inophyllum

දොඹ ශාකය නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඉන්දියාව, මැලේසියාව, හා ඔස්ට්‍රේලියාව ආදී රටවලට ආවේණිකය. ශාක පත්‍ර විශාල වන අතර අලංකාරත්වයෙන්ද යුතුය. මල් සුවඳවත්ය. ඵලය කහ හෝ කොළ පැහැ වන අතර ගෝලාකාරය. එය තුවාල සුව කිරීම වද, සමේ රෝග සඳහාද ගුණදායකය. ශාක පත්‍ර තැම්බූ වතුර ඇස්වලට ගුණදායකය.

11.හීං බෝවිටියා(Heen Bovitiya)

විද්‍යාත්ම නාමය-Osbeckia octandra

පඳුරුමය ශාකයක් ලෙස සැලකෙන හීන් බෝවිටියා මීටර් 02 ක් පමණ උසට වැඩේ. බොහෝ සේ අතු බෙදී ඇති මෙහි අතු මත මද වශයෙන් බූව ඇත. ඉලිප්සාකාර ශාක පත්‍ර සහිත මෙම ශාකයේ මල් රෝස පැහැයට හුරු දම් පැහැයක් ගනී. ශාක පත්‍ර සෙංගමාලයට, අක්මාවට මෙන්ම දියවැඩියාවට ගුණදායක බව සඳහන් වේ.

12.කපුකිනිස්ස(Kapukinissa Tree)

විද්‍යාත්ම නාමය-Abelmoschous moschatus

ඖෂධීය ගුණැති කපුකිනිස්ස ශාකය සුවඳවත්ය. ඵලයද කස්තුරි වැනි මිහිරි සුවඳකින් යුතුය. බණ්ඩක්කා ගසට පෙනුමින් සමාන මෙය අඩි 5-6 ක් පමණ උසකට වැඩේ. මල් කහ පැහැතිය. ඖෂධීය ගුණැති කපුකිනිස්ස මස්පිඬු පෙරළීමට හා සන්ධි වේදනාවට පිළියමක් ලෙස භා කරයි. සෙම නසන,ආහාර රුචිය වඩවන, මුව පිරිසුදු කරන ගුණයෙන් යුතුය.

ඔබට පරණ Post බැලීමට අවශ්‍යනම් Older Post මත ක්ලික් කරන්න.
 

 

No comments:

Post a Comment