Pages

Saturday 23 October 2021

ශ්‍රී ලංකාවේ අහස සිඹින කදු

 1.පිදුරුතලාගල කන්ද

ශ්‍රී ලංකාවේ පිහිටි කඳු අතරින් උසින් වැඩිම කන්ද ලෙස සැලැකෙන්නේ පිදුරුතලාගල කඳු පන්තියයි. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 2524කි. මුහුදු මට්ටමේ සිට මීටර් 1800ක් පමණ උසකින් පිහිටි නුවරඑළිය නගරය ආසන්නයේ සිට මේ කන්ද ආරම්භ වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි මෙම කන්දට ගමන් කළ යුත්තේ නුවරඑළිය නගරය හරහාය. මහවැලි ගඟෙහි අතු ගංගාවක් වන බෙලිහුල්ඔය ආරම්භ වන්නේද පිදුරුතලාගල කඳු පන්තිය ආශ්‍රිතවයි. පිදුරුතලාගල කන්ද සමීප වනාන්තරයේ දැකිය හැකි ශාක හා සතුන් අතරින් වැඩි ප්‍රමාණයක් අපේ රටට ආවේණික වේ. දිය ඇළි රැසකින් හැඩවී ඇති මෙම කන්ද “පේද්රෝ කන්ද” යනුවෙන්ද හැඳින්වේ. මෙම කඳු මුහුදුනෙහි පිහිටා ඇති රූපවාහිනී කුලුන නිසා මෙය අධිආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇත.

2.කිරිගල්පොත්ත කන්ද

ශ්‍රී ලංකාවේ පිහිටි කඳු අතරින් උසින් දෙවැනි තැන ගන්නේ කිරිගල්පොත්ත කන්දයි. මෙය පිහිටා තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේය. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 2395ක් වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට පමණ ඉහළින් පිහිටි හෝර්ටන්තැන්නේ සිට මේ කන්ද ආරම්භ වේ. මහවැලි ගඟට ගලන ආග්‍රා ඔයත්, කැලණි ගඟට ගලන කෙහෙල්ගමු ඔයත් ආරම්භ වන්නේ මේ කඳු ප්‍රදේශයෙනි. මෙම කන්ද ආශ්‍රිතව ඉහළ කඳුකර තෙත් කලාපීය වනාන්තරවලින් යුතු හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය පිහිටා ඇත. කිරිගල්පොත් අවට පරිසරයේ අප රටට ආවේනික පක්ෂීන්, ශාක හා සතුන් දැකිගත හැකිය.

3.තොටුපොළ කන්ද

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති කඳු අතර්න් උසින් තෙවන ස්ථානය හිමි වන්නේ තොටුපොළ කන්දටය. එහි උස මීටර් 2357කි. එය පිහිටා ඇත්තේ හෝර්ටන්තැන්න ප්‍රදේශයේය. තොටුපොළ කන්ද පිළිබඳ නොයෙක් ජනප්‍රවාද පවතියි. මේ එවන් එක් ජනප්‍රවාදයකි. රාවණා රජු ඉන්දියාවේ රාම රජුගේ බිරිය වන සීතා දේවීය පැහැරගෙන ආවේය. එහිදී රාවණා රජුගේ දඩුමොනර වාහනය නවතා තැබුවේ හෝර්ටන්තැන්නෙහි ඇති කඳු ගැටයක් මතයි. මෙම කඳු ගැටය තොටුපොළ කන්දයි.


4.සමනල කන්ද

ලෝකයේ ආශ්චර්යමත් කඳු අතරින් අප රටෙහි පිහිටි සමනල කන්ද හෙවත් ශ්‍රීපාද කන්දට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එය ආගමික හා ඓතිහාසික ලෙසින්ද ඉමහත් වැදගත්කමක් දරයි. මෙම අසිරිමත් කන්ද දුරාතීතයේ සිටම ජාත්‍යන්තර ප්‍රසිද්ධියකට පත්ව තිබෙන බව නොරහසකි. මෙම කන්ද ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන් මල්කඩකි. සුමන සමන් දෙවියන්ගේ ඇරයුමින් මෙරට වැඩ වදාල බුදුරජාණන්වහන්සේ විසින් තමන්වහන්සේගේ වම් සිරිපතුලෙහි සලකුණක් මෙම කඳු සිරසෙහි පිහිටුවන ලදැයි මෙරට බෞද්ධයන් තුළ මහත් විශ්වාසයක් පවතී. සමනල කන්දේ උස මීටර් 2243කි. ශ්‍රීපාද කන්ද කඳු පන්තියක් ලෙස පිහිටා තිබේ. ශ්‍රීපාද කන්ද පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ගංගා හතර වන මහවැලි, කැලණි, කළු හා වලවේ යන ගංග ආරම්භ වන්නේද සමනල කන්ද මුදුනෙනි.

5.කිකිලියාමන කන්ද

පිදුරුතලාගල කන්දට බටහිරින් පිහිටා ඇති මෙහි උස මීටර් 2240කි. නුවරඑළිය - මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව මෙම කන්ද පිහිටා ඇත. මහවැලි ගඟෙහි අතු ගංගාවක් වන රම්බොඩ ඔය ආරම්භ වන්නේ කිකිලියාමන කන්දෙනි. මෙම කඳු වැටිය ආශ්‍රිතව ඉහළ කඳුකර තෙත් කලාපීය වනාන්තර දැකිය හැකියි.

6.නකල්ස් කදු පන්තිය

අනිකුත් කඳු පන්තිවලින් වෙන්ව පිහිටා ඇති මෙම කඳු පන්තිය දකුණින් මහවැලි හා බටහිරින් මාතලේ නිම්නවලින් වටවී ඇත. knuckles යනු කෙනෙකු අත මිට මෙළවූ විට දිස්වන හැඩයයි. ඒ හැඩයේ ආකාරයට මෙම කඳු පන්තිය විහිදී ඇති නිසා එනමින් භාවිත වේ. මාතලේ සහ නුවර දිස්ත්‍රික්කවලට අයත් වේ.

7.මහකුඩුගල කන්ද

මීටර 2096-2100ත් අතර උස මහාකුඩුගල කඳුවැටිය උසින් 11 වන ස්ථානය ගනු ලබයි. මීට අමතරව වින්ත්‍රි හිල් කන්ද, හක්ගල කන්ද, ගොමොල්ලි කන්ද ආදිය ද දැක්විය හැකිය.

8.කොනිකල් හිල්

උසින් මීටර 2166ක් වන මෙයද නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි තවත් දැකුම්කලු කඳුවැටියකි.

9.නමුණුකුළු කන්ද

මෙම කඳු පන්තිය කඳු ශිඛර නවයකින් යුක්තය. නමුණුකුළ කඳු මුදුනේ උස මීටර් 2036 කි. ඌව පළාතේ පිහිටා ඇත.

10.ග්‍රේට් වෙස්ටර්න්

මීටර 2216 ක් උස මෙම කඳුවැටිය, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි තවත් කඳුවැටියකි.









1 comment: